සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පොඩි පැටීගේ ඝාතනයට පළිගැනීමට ගත් උත්සහාය ව්‍යාර්ථ වෙයි – දකුණේ පාතාලය යළි ගිනි ගන්නා හැටි

කරන්දෙණිය සුද්දා සහ කොස්ගොඩ සුජී නම් අපරාධකරුවන්ගේ සමීපතමයින් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ව්‍යාර්ථ කිරීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ (03) සමත් විය.

ඒ අනුව ඝාතනයට සූදානම්ව සිටි සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර අනෙක් සැකකරු පලාගොස් තිබේ.

ලොකු පැටී නම් අපරාධකරුගේ සහෝදරයා වන පොඩි පැටී නමැත්තා පසුගියදා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් වශයෙන් මෙය සැලසුම් කර ඇති බව සඳහන්ය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ඊයේ තොරතුරක් ලැබී තිබුණි.

එහි දැක්වුණේ ලොකු පැටී නම් අපරාධකරුගේ සමීපතමයින් කිහිපදෙනෙක්, පුද්ගලයින් සිව්දෙනෙක් ඝාතනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බවය.

ඒ අනුව ඔවුන් රැඳී සිටි කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේ නිවස වැටලීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ඊයේ (03) පස්වරුවේ පියවර ගත්තහ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම නිවස තුළ සැකකරුවන් තිදෙනෙක් සිටි අතර ඉන් එක් අයෙක් පොලිස් නිලධාරීන් දැක ඒ දෙසට වෙඩි තබා තිබේ.

ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයක් සැකකරුවෙකුගේ පාදයකට වැදී තුවාල සිදුවූ අතර තවත් සැකකරුවෙක් පැන ගොස් ඇති බව සඳහන්ය.

එහි සිටි අනෙක් සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනුණ අතර තුවාල ලැබූ සැකකරු කඩිනමින් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

පසුව පොලිස් නිලධාරීන් එම නිවස පරීක්ෂා කිරීමේදී, 9mm වර්ගයේ පිස්තෝල අවියක්, එම පතරොම් 8ක් සහිත මැගසිනයක්, රිවෝලවර අවියක් හා එම පතරොම් 6ක්, 9mm මැගසිනයක් හා පතරොම් 6ක් සහ විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක්ද සොයා ගැනුණි.

මීට අමතරව එම නිවසේ ගාල්කර තිබූ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම වැටලීම මෙහෙය වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාද එම නිවසට පැමිණියේය.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණ වී තිබේ.

ඉකුත් පළමුවැනිදා ලොකු පැටී නම් අපරාධකරුගේ සහෝදරයා වන සුගත් නුවන් කුමාර හෙවත්, පොඩි පැටී නැමැත්තා අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනයට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතන සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා විය.

ලොකු පැටී සහ අහුන්ගල්ලේ සංජීව යන අපරාධකරුවන් විසින් මෙය සැලසුම් කර ඇති බවට පොලිසියට වාර්තාවී ඇත.

ඔවුන්ගේ උපදෙස් මත අදාළ සැකකරුවන් තිදෙනා මෙම නිවසේ රැඳී සිට ඇත්තේ එම නිවසේ සිට මීටර 300ක පමණ දුරකින් කරන්දෙණිය සුද්දාගේ සමීපතමයින්ගේ නිවසක් ඉලක්ක කරමිනි.

එම නිවසේ සිටින කොස්ගොඩ සුජී සහ කරන්දෙණිය සුද්දා යන අපරාධකරුවන්ගේ සමීපතමයින් සිව්දෙනෙක් ඝාතනය කිරීම මොවුන්ගේ ඉලක්කයවී ඇත.

ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අදාළ නිවසට පාගමනින් ගොස් ප්‍රහාරය දියත් කරන ලෙසය.

ඊට හේතු වී ඇත්තේ ලොකු පැටීගේ සහෝදරයා වන පොඩි පැටීව ඝාතනයට පැමිණි වෙඩික්කරු පැමිණ තිබුණේත් පාගමනින් වීම නිසාය.

අදාළ නිවසට ගොස් එහි දොරට තට්ටු කර එය විවෘත කිරීමෙන් පසු එහි සිටින සියලු දෙනාට වෙඩි තබන ලෙසට ඔවුන්ට උපදෙස් ලැබී තිබේ.

දොර විවෘත නොකරන්නේනම් ”අපි පොලිසියෙන්” ලෙස අමතා දොර විවෘත කරගන්නැයිද ඔවුන්ට දැනුම් දී ඇති අතර එසේ දොර විවෘත නොකරන්නේනම් දොර කඩා නිවස තුළට ගොස් එහි සිටින්නන්ට වෙඩි තබා පසුව අත්බෝම්බය එල්ල කරන ලෙසට මෙහි සැලසුම්කරුවන් දැනුම්දී ඇත.

මෙම ප්‍රහාරය එල්ල කිරීම වෙනුවෙන් සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති බවටත් පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

නිවසේ තිබූ ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරුපැදියද මෙම ඝාතනයට සූදානම් කර තිබූ අතර එහි පැදිකරුටත් පිස්තෝලයක් ලබාදී ඇත්තේ හදිසි අවස්ථාවකදී භාවිත කිරීමටය.

අදාළ නිවසේ සිට පලාගිය සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකය.

විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇති කරුණ වන්නේ මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවා යැයි කියන ලොකු පැටී නම් අපරාධකරු මේ වනවිට රඳවා ඇත්තේ වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත විශේෂ සිර මැදිරියකය.

එසේ තිබියදී ලොකු පැටී මෙම සැකකරුවන් හා සම්බන්ධ වූයේ කෙසේදැයි සොයා වෙනම විමර්ශනයක්ද ක්‍රියාත්මක කෙරේ.

ඒ පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන්ද කළ විමසීමේදී , සැකකරුවෙක් පොලිසියට පවසා ඇත්තේ ”ලොකු පැටීව මම දන්නේ ඉස්සර ඉඳන්. ලොකු පැටීගේ කටහඬ මට අඳුරන්න පුළුවන්.එයා මට ෆෝන් එකෙන් කතාකරලා උපදෙස් දුන්නා” ලෙසටය.

සැකකරුවන් රැඳී සිටි නිවසේ ගෙවත්ත අද පෙරවරුවේත් පරීක්ෂාවට ලක්කෙරුණු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Tags