දේශීය පුවත්
ජාතික දීපාවලි උත්සවය හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් කෝවිලේදී
හෙටට යෙදී ඇති දීපාවලි උත්සවය අවස්ථාව සැමරුම් කරමින් ජාතික මට්ටමේ ප්‍රධාන උත්සවය අද (19) පෙරවරුවේ හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් හින්දු කෝවිලේදී පැවැත්වීය. ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් යි.
මෙහිදී කෝවිලේ ප්‍රධාන පූජක ශිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරුක්කල්තුමා විසින් ආරාධිත අමුත්තා සහ ජනතාව වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වා, පසුව අමාත්‍යතුමා ඇතුළු පිරිස හින්දු චාරිත්‍රාංගවලින් සමන්විත පෙරහැරකින් උත්සව ශාලාවකට ගෙන යන ලදී. උත්සවයේදී පාසල් ළමුන් විසින් විවිධ හින්දු නර්තන සහ සංස්කෘතිකාංග ඉදිරිපත් කළ අතර ජාතික දීපාවලි තැපැල් මුද්දරයක්ද නිකුත් කරන ලදී.
එමෙන්ම, දීපාවලි උත්සවය නිමිත්තෙන් පොලිස් මුලස්ථානය සංවිධාන කළ විශේෂ උත්සවය ඊයේ බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදී පැවැත්වුණි. ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
