දේශීය පුවත්
BYD පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් තීන්දුව
ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවාගෙන සිටින BYD විද්‍යුත් මෝටර් රථ මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 7 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
මෙම පෙත්සම ඊයේ (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
එම වාහන බැංකු බැඳුම්කරයක් මත මුදා හැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවද ඇය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997ක් රේගුව භාරයේ පවතින බවයි.
තවද වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝවොට් 100ද? කිලෝවොට් 150 ද? යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරුන් දෙදෙනෙක් සහ BYD සමාගමේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට යොදා ඇති බවද ඔහු සඳහන් කළා.
අදාළ වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් වශයෙන් තබන්නේ නම් එම වාහනවලින් 06ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදා හැරීම පිළිබඳව සලකා බැලිය හැකි බවට වගඋත්තරකරුවන්ට උපදෙස්දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
මේ අනුව අදාළ පෙත්සම යළි මේ මස 07 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම යෝජනාව පිළිබඳව පෙත්සම්කාර පාර්ශවයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසද නියම කෙරුණා.
ජෝන් කීල්ස් සීඩී ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
