දේශීය පුවත්
රේගුවේ රඳවා ගෙන සිටි BYD වාහන තොගයක් ඇප නියමයන් යටතේ මුදාහැරීමට නියෝග
ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගෙන තිබූ කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු හා සමාගම් ඇපකර මත මුදාහැරීමට එකඟ බව අද (11) අභියාචනාධිකරණයට දැනුම් දීය.
අදාළ වාහන ආනයනය කළ පුද්ගලික සමාගමක් විසින් එම වාහන මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී රේගුව මෙම එකඟතාවය පළ කළේය.
ඒ අනුව රේගුව භාරයේ රඳවා සිටි BYD ඔටෝ ප්‍රිමියම් කිලෝවොට් 70, ඔටෝ ඩයිනමික් කිලෝවොට් 45, ඔටෝ ප්‍රිමියම් කිලෝවොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝවොට් 70 යන කාණ්ඩවලට අයත් වාහන 625 ක් බැංකු සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වූ බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට පවසා සිටියේය.
එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මියද එකඟතාවය පළ කළාය.
ඒ අනුව අදාළ වාහන මුදා හැරීමට අධිකරණ නියෝගය නිකුත් කරන ලදී.
