දේශීය පුවත්
රඳවා ඇති ආනයනික වාහන මුදාහැරීමේ නඩුව අභියාචනාධිකරණයට කැඳවයි
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින ආනයනික වාහන කොන්දේසි යටතේ මුදාහැරිය හැකි බව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. වාහන ආනයනකරුවන් විසින් රේගුවට එරෙහිව මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනුකර ඇති පෙත්සම් 15ක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ලේ, සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවුණි.
ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා, ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව වාහන මුදාහැරිය හැකි බව පැවසීය.
අමතර ගාස්තු ගෙවීමෙන් පසු වාහන ලියාපදිංචි කිරීමට අවසර හිමිවන බවද සඳහන් කළේය. පාර්ශ්වයන් විසින් මුදාහැරෙන වාහන ලැයිස්තුව කැඳවීමට සහ ගෙවිය යුතු අධිභාරය පිළිබඳ විමසීම් කළහ. ඒ අනුව අභියාචනාධිකරණය අදාළ නඩුවේ තීරණය ලබන ඔක්තෝබර් (22) වනදා දීමට නියම කළේය.
