සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කෙහෙළිය ඇතුළු 11කට අධිචෝදනා භාර දෙයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව පිළිබඳව නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ තවත් 11 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙනවා.

අද (25) කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වනවා.

2022 වසරේ රට තුළ පැවැති ආර්ථික අර්බුදයට මුවාවී, ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් පැවැති ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීමට ලක්කර සෞඛ්‍ය අංශ විසින් ඖෂධ මිලදී ගැනීමක් සිදුකර තිබුණා.

මෙලෙස මිලදී ගත් ඖෂධ වර්ග අතර තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිදේහ භාවිතා කර මහනුවර, මාතලේ සහ කොළඹ යන ප්‍රදේශවල රෝගීන් තිදෙනෙකුට සංකුලතා මත වුණා.

මේ සමඟ ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතු වූ හෙයින් ඒ සම්බන්ධව ලද පැමිණිලි 2ක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා.

පසුම එම විමර්ශනයට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ආරම්භ කෙරුණේ පුද්ගලයින් 12 දෙනෙක් සැකකරුවන් ලෙස නම් කරමිනි.

ඒ ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයුම්කරු වන සුදත් ජනක ප්‍රනාන්දු, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරීන් පිරිසකි.

නඩුවේ සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකර සිට පසුව ඇප මත මුදා හැරනුද පළමු සැකකරු වන ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයු සැපයුම්කරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

එවැනි පසුබිමක පසුගිය 19 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අවසන් වරට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියාසිටියේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම පිළිබඳව වසරකුත් මාස 8යි දින 6ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන දැනටමත් අවසන් කර ඇති බවයි.

මේ අනුව මෙම නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරිය විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අද (26) අධිචෝදන ගොනු කෙරුණා.

මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල හමුවේ මෙලෙස අධිචෝදනා ගොනු කිරීම සිදු කරනු ලැබුවා.

ඒ හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙනි.

අධිචෝදනා පත්‍රයට අනුව නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න ගණනක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න ගණනක් ඉදිරිපත් කර ඇති බවද සඳහන්.

Tags