දේශීය පුවත්
අනිවාර්ය නිවාඩු යැවූ නිලධාරියෙකුගේ නඩු සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය රු. මිලියන 15ක් වැය කරයි
2021 වසරේදී අනිවාර්ය නිවාඩුවකට යවනු ලැබූ මුදල් අධ්‍යක්ෂවරයෙකුට විරුද්ධව ගොනු කළ නඩු කටයුතු සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15.1ක් වැයකර ඇති බව පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.
පැමිණි නිලධාරීන්ගෙන් විමසීමේදී හෙළිවූයේ, එම නඩුවලට නීතිමය සේවා සැපයූ නීතීඥයෙකුට එක් නඩුවාරයකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 6ක් ගෙවා ඇති බවයි. නමුත් අදාළ නඩුවේදී අධිකරණය විසින් එම මුදල් අධ්‍යක්ෂවරයා සියලු වැටුප් හා දීමනා සහිතව නැවත සේවයට පිහිටුවන ලෙස නියෝග කළ බවද හෙළිවිය. එම තීන්දුවට එරෙහිව අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධ නීතිමය කටයුතු තවමත් සිදුවෙමින් පවතී.
කෝප් කමිටුව පෙන්වා දුන්නේ මෙම කාලය තුළ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නිලධාරීන් අසාධාරණ ලෙස ක්‍රියා කර ඇති බවත්, එමගින් මහජන මුදල් අවභාවිත වී ඇති බවත්ය. එසේම අධිකාරියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කිරීම සඳහා රු. මිලියන 5.59ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් සකස් කර තිබුණද, එය අදාළ ඉංජිනේරුවරයෙකු විසින් අනුමත කර නොතිබූ බවද කමිටුව අවධාරණය කළේය.
මෙම තොරතුරු අනාවරණය වූයේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වාර්ෂික විගණන වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව පසුගිය (08) වැනිදා රැස්වූ අවස්ථාවේදීය. අවසානයේ කමිටුව අධිකාරියට උපදෙස් දුන්නේ, අනාගතයේදී මෙවැනි මහජන මුදල් අවභාවිතය සහ පෞද්ගලික ආශාවන් මත ගන්නා තීරණ වලක්වා ගැනීමට ක්‍රියාත්මක පාලන ක්‍රමවේද යාවත්කාලීන කළ යුතු බවයි.
