සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආනයනික වාහන ඇපකර මත නිදහස් කිරීමට අධිකරණ නියෝග

අභියාචනාධිකරණය, රේගු භාරයේ රඳවාගෙන සිටින ආනයනික වාහන ඇපකරයක් මත නිදහස් කිරීමට හැකිද යන්න සොයාබලා එම පිළිබඳ වාර්තාව ලබන ඔක්තෝබර් 10 වන දිනට අධිකරණයට ඉදිරිපත් කිරීමට රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල මගින් මෙම නියෝග නිකුත් කරන ලද්දේ, වාහන ආනයනකරුවන් 15 දෙනා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් සලකා බැලීමේදීය.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, නීතියට අනුකූලව ආනයනය කළ වාහන රේගුව විසින් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඇති බවත්, ඒවා නිදහස් කරගැනීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කළ සියයට 35ක අධිභාරය පිළිබඳව තම සේවාදායකයින් දැඩි විරුද්ධතාවය දැක්වූ බවත්ය.

එමෙන්ම, දිගින් දිගටම රඳවා තැබීම හේතුවෙන් වාහන සූරිය ආලෝකය හා අනෙකුත් සාධක නිසා හානිවීමට ඉඩ තිබෙන අතර, එවැනි හානි සඳහා රක්ෂණ වන්දියක් ලබාගත නොහැකි බව නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණයට අවධාරණය කළේය.

රේගුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතාට විනිසුරු මඩුල්ල උපදෙස් දුන්නේ, අධිභාරය සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් හා මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් පවත්වා ගැටලුව සමථයකට පත් කිරීමට හැකිද යන්න සොයා බලන ලෙසය.

අදාළ පෙත්සම් නැවත සලකා බැලීම ඔක්තෝබර් 22 වන දිනට නියම කර තිබේ.

Tags