දේශීය පුවත්
ගැඹුරු මුහුදේ ආපදාවට පත් වෙළෙඳ නෞකාවක කාර්ය මණ්ඩලය බේරා ගනියි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක පමණ දුරින් ගැඹුරු මුහුදේදී ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත් වූ MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ සාර්ථක මෙහෙයුමකින් නිරුපද්‍රිතව බේරගැනීමට හැකිවිය.
ඉන්දීය, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය මණ්ඩලය, සමුදුර නෞකාව මගින් මුදාගෙන අද (26) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.
ආපදාවට පත් නෞකාවට සහාය වීමට MV MORNING GLORY නෞකාවද එම ප්‍රදේශයේ රැඳී සිටියේය.
නාවික හමුදාව පවසන්නේ, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මුහුදේදී ආපදාවට පත් නෞකා සහ නාවිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව නිරන්තර සූදානමින් සිටින බවයි.
