දේශීය පුවත්
වාහන ආනයනය නිසා සංචිතවලට සෘණාත්මක බලපෑමක්?
මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5කට පසුව පසුගිය පෙබරවාරි 1 වනදා ඉවත් කිරීමෙන් පසු වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘණාත්මක බලපෑමක් එල්ල වී තිබෙනවා.
ඒ අනුව එය මඟ හරවා ගැනීමට සුදුසු පියවර ගන්නා මෙන් මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා ඇති බව සඳහන්.
වාහන ආනයනය සීමා ඉවත් කර මාස 5කදී වාහන ආනයනය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 742ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වසරටම වාහන ආනයනය කිරීම සඳහා වෙන්කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලකි.
මේ හේතුවෙන් වාහන ආනයනය කිරීම සඳහා බලාපොරොත්තු වුවාට වඩා වේගයකින් ණයවර ලිපි විවෘත වන බවත් වාහන ආනයනය ද සිදුවන බවත් භාණ්ඩාගාරය මහ බැංකුවට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.
භාණ්ඩාගාරයේ නිර්දේශ වී ඇත්තේ මහ බැංකුව වාහන ආනයනය කිරීමේ ප්‍රවණතා සමීපව අධ්‍යනය කර ඒ සඳහා පිළියම් වේලාසන සුදානම් කරගත යුතු බවයි.
අමෙරිකානු ඩොලර් විශාල වශයෙන් පිටතට ගලා යාම මෙරට නිල විදෙස් සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලට ද බලපෑමක් එල්ල කරනු ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු මෙරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයන්ට බලපෑම් එල්ල විය හැකි බවත් භාණ්ඩාගාර විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මාස 5 ක් තුළ මෙරටට වාහන 18,000 ක් ගෙන්වා තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 220 ක් බදු ආදායමක් උපයා තිබෙන බවත්ය.
වාහන ආනයනය මුල් මාස 6 රේගු ආදායම වූ රුපියල් ට්‍රිලියනට සැළකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙන බවත් මෙම වසරේ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1 ක් බවත් ඔහු සඳහන් කරනවා.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප ජාතික පුවත්පත
