සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බ්‍රිතාන්‍ය තරුණියක් “කුෂ්” කිලෝ 46ක් සමඟ අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.2කට අධික වටිනාකමක් යුතු “කුෂ්” නමැති කෘත්‍රිම ගංජා තොගයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට තැත් කළ බවට චෝදනා ලැබූ බ්‍රිතාන්‍ය ජාතික යුවතියක් මේ වන විට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, 21 හැවිරිදි චාලට් මේ ලී (Charlotte May Lee) නමැති එම යුවතියගේ නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින බැවින් ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවය.

දකුණු ලන්ඩනයේ පදිංචිකාරියක් වන චාලට්, හිටපු ගුවන් සේවිකාවකක් වන අතර මේ වන විට රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස සේවය කරමින් සිටී.

ඇය පසුගිය මැයි මස 12 වන දින බැංකොක් නුවර සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ අවස්ථාවේදී, ඇය රැගෙන ආ ගමන් මලු දෙකක සඟවා තිබූ කිලෝග්‍රෑම් 46 ක “කුෂ්” නමැති කෘත්‍රිම ගංජා තොගයක් සමඟ බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

වාර්තා අනුව, ඇය පසුගිය අප්‍රේල් මස අගදී එංගලන්තයෙන් පිටත්ව තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියේය. එහිදී ලබාගත් දින 30ක වීසා කාලය අවසන් වීමට ආසන්න වූ නිසා, වීසා යාවත්කාලීන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන් වේ. ඇය නැවත වීසා ලබාගත් පසු තායිලන්තයට ආපසු යාමට සැලසුම් කර තිබුණද, එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම චෝදනාවලට වරදකාරියක් ලෙස තීරණය වන්නේ නම්, ඇයට වසර 25 දක්වා සිර දඬුවමක් නියම විය හැකි බව නීතිඥවරු පෙන්වති.

ඇය වෙනුවෙන් ඇප අයදුම්පතක් ගොනු කර ඇති බව වාර්තා වුවද, එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට මාස කිහිපයක් ගත විය හැකි බව සඳහන් වේ.

මෙම සිදුවීම මේ වන විට විදෙස් මාධ්‍යවල විශාල අවධානයක් දිනාගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය චෝදනා මත ජෝර්ජියාවේදී අත්අඩංගුවට ගත් තවත් බ්‍රිතාන්‍ය කාන්තාවක වන බෙලා කලි (Bella Kelly)ගේ සිදුවීම සමගද මෙය සැසඳීමට ලක්ව තිබේ.

Tags