බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතයක් “මොන්තා” (Monta) සුළිකුණාටුවක් ලෙස වර්ධනය වී ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම සුළිකුණාටුව දැනට ඉන්දියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ පවතින අතර, එය හෙට (28) දිනයේදී ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ සමඟ පැයට කිලෝමීටර් 90 සිට 110 දක්වා වේගයෙන් තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන් වේ. ඒ අනුව ඔඩිෂා, බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවලට තද වැසි ඇතිවිය හැකි බවත්, එම ප්‍රදේශවල සමහර දිස්ත්‍රික්කවල පාසල් සඳහා දින දෙකක විශේෂ නිවාඩුවක්ද ප්‍රකාශයට පත් කර ඇති බවත් වාර්තා වේ.
මේ අතර, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සඳහන් වන්නේ, ගිනිකොනදිග බෙංගාල බොක්කේ පවතින මෙම පීඩන පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දීය වෙරළට යාමට සූදානම් වන අතර, ධීවර සහ නාවුක කටයුතු වලින් තාවකාලිකව වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බවය. තවද ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පදිංචි ජනතාවද අවධානයෙන් සිටින ලෙස කාලගුණ අංශය අවවාද කර ඇත.
