දේශීය පුවත්
දේශබන්දුට ඇප
2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
මේ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කරනු ලැබුවා.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට තවත් නියෝගයක් නිකුත් කළා.
ඊට අමතරව කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහාය විය යුතු බවත් එලෙස කැඳවනු ලබන අවස්ථාවල මඟ හැරීම් සිදු කරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.
නඩුව නැවත සැප්තැම්බර් මස 3 වනදා කැඳවීමට නියමිතයි.
