සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අධ්‍යාපනය ඩිජිටල්කරණය කරන්න TikTok සමාගමේ සහාය

TikTok සමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුව තිබෙනවා.

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිතා කළ හැකි ආකාරය සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරුණා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳව දැනුම ලබාදීම සඳහා විධිවිධාන පර්යේෂණ සහ විෂය මාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ TikTok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී එම නියෝජිතයින්ට පෙන්වා දුන් බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගීතාවන් අගය කළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඩිජිටල්කරන ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට දකුණු ආසියාවේ TikTok සමාගමෙහි රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ප්‍රධානී Ferdous Al Mottakin, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වනවා.

Tags