දේශීය පුවත්
කටුනායක ගුවන් තොටුපොළේදී නිකුත් කරන රියදුරු බලපත්‍ර ගාස්තු රු. 15,000 දක්වා ඉහළට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් නිකුත් කරන රියදුරු බලපත්‍ර සඳහා ගෙවිය යුතු ගාස්තු රුපියල් 2,000 සිට රු. 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූයේ මෙම තීරණය ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගත් බවත්, එමගින් නව ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවත්ය. නමුත් එම නිවේදනයේ ගාස්තු ඩොලර් වලින් සඳහන් වූ නිසා, එය රුපියල් ලෙස වෙනස් කර ලබන සතියේ යළි ගැසට් නිකුත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව, ඉදිරියේදී මෙම පහසුකම විදේශිකයන්ට පමණක් නොව, දිගු කාලයක් විදේශයේ ජීවත්ව සිට නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ටද ලබාගත හැකි වන බවත් ඔහු පැවසීය.
“ලංකාවෙන් පිටව සිටින ලක්ෂ 35කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ටත් මේ අවශ්‍යතාවය පැන නගිනවා. එමඟින් සංචාරකයින්ට පමණක් නොව, අපේ තනාපති කාර්යාලවල සේවකයින්ටත්, ආයෝජකයින්ටත් මේ පහසුකම අත් විඳිය හැකි වෙනවා,” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.
තවද ඔහු පැවසුවේ, පවතින රු. 2,000ක ගාස්තුව ඉදිරියේදී මාසික බලපත්‍රයක් සඳහා රු. 15,000ක් දක්වා වැඩි වන බවත්, එය ඩොලර් 50ක ගාස්තුවකට සමාන බවත්ය. එමෙන්ම, රියදුරු සේවයේ නියුතු අය රැකියාව අහිමි වන බවට භියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
