සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අධික වැසි හා ගංවතුරෙන් දිවයිනේ පළාත් රැසකට දැඩි බලපෑම්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2,052කට අයත් පුද්ගලයින් 8,346 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ සමඟ අර්ධ නිවාස හානි 335ක් වාර්තා වී ඇති අතර, අවිස්සාවේල්ල – මාදොල ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවියක් අධික වැසි අතර කාණුවකට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුව, ඉදිරි පැය 12 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

අද පෙරවරු 8.30ට අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල සිරිකඳුර වතුයායෙහි මිලිමීටර් 241ක් ලෙස වාර්තා විය.

පවතින වැසි හේතුවෙන් රාජංගනය, අංගමුව, දැදුරුඔය, පොල්ගොල්ල, අලිකොටආර, ඉබ්බන්කටුව සහ කිඹුල්වානාඔය ජලාශවල වාන්දොරටු විවෘත කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ අලව්ව, මීරිගම, මීගමුව, කටාන, පල්ලම සහ හලාවත ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. එමෙන්ම බදුල්ල, ගාල්ල, මහනුවර, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක 11කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අධික වැසි හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය තවදුරටත් බාධා විඳී ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන පරිදි හෙට (22) දහවල් 12.00 දක්වා ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි විය හැක.

කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, රථවාහන තදබදය ද වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධානයෙන් සිටිමින් නායයාම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවලට පිවිසීමෙන් වලකින්නැයි නිර්දේශ කරයි.

Tags