දේශීය පුවත්
ඉෂාරා සෙව්වන්දි රටින් පැන්න හැටි
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස සොයාගනිමින් සිටි ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා පොලිසිය පවසන පරිදි, මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ නේපාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඇය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු ද අත්අඩංගුවට පත්ව ඇති බවයි. ඒ අතර කාන්තාවක් සහ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු ද සිටින බවද පැවසීය. එම පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට රැකවරණය සපයා දුන් ද්‍රවිඩ ජාතිකයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අදාළ සැකකරුවන් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට රැගෙන එන්නට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
ඉෂාරා සෙව්වන්දිට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඇය අත්අඩංගුවට ගනු ලබන්නේ ගනේමුල්ල සංජීව ලෙස හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවකු වූ සංජීව කුමාර සමරරත්න ඝාතනය සම්බන්ධයෙන්ය.
ඉකුත් පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංජීව වෙඩිතැබීමකට ලක්ව මිය ගිය අතර, එම ඝාතනය කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් සංවිධානය කර ඇති බව පසුව අනාවරණ විය.
ඝාතනය සිදුකළ වෙඩික්කරු සමිඳු දිල්ෂාන් පියුමංග එදිනම පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, අධිකරණයේ CCTV දෘශ්‍ය පරීක්ෂා කිරීමෙන් අනාවරණ වූයේ වෙඩික්කරුට සහාය වූ කාන්තාවක් ද එහි සිටි බවය.
පසුව සිදුකළ විමර්ශනවලින් හෙළි වූයේ, එම කාන්තාව මිනුවන්ගොඩ පදිංචි ඉෂාරා සෙව්වන්දි බවත්, ඇය නීති පොතක් තුළ ගිනිඅවිය රහසිගතව රැගෙන ආ බවත්ය.
ඝාතනයෙන් පසු ඇය ඉන්දියාවට පලා ගොස් එහි සති තුනක් පමණ රැඳී සිට ඇති අතර, පසුව බස් හා දුම්රිය මාර්ගවලින් නේපාලයට ළඟා වී ඇතැයි වාර්තා වේ.
ඇය නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිටියදී ඊයේ (13) දිනයේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු සිදු කරමින් පවතින බවද වාර්තා වේ.
