දේශීය පුවත්
ස්ථාන තුනකින් ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබන දෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පැවසුවේ මේ වන විට අදාළ ද්‍රව්‍යවල සාම්පල පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළි වූ තොරතුරු මත මිද්දෙනිය ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවා.
ඉන්පසුව පෙරේදා දිනයේ තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී මෙවැනිම ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඊයේ (08) කඳාන ප්‍රදේශයේ දී එවැනි ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ද්‍රව්‍යවල සාම්පල මේ වන විටත් ලබාගෙන ඇති බවත් එහි පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
