දේශීය පුවත්
කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ආරම්භ කරයි
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජනය එල්ල කර ඇති බව පැවසෙන සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය ඊයේ (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙහිදී පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තිදෙනේක්ගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙසද නියම කළා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකරන බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
එම පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ විදේශගතව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු බවට පැවසෙන අමින්ද රොෂාන් ජයසේකර හෙවත් ‘දරුන්’ සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිට මේ වන විට විදේශගතව සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සාලින්ද මධුෂාන් පෙරේරා හෙවත් ‘කමාන්ඩෝ සලින්ද’ යන අය එක්වී මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මෙම තර්ජනාත්මක ඇමතුම අගෝස්තු මස 03 වනදා රාත්‍රී 08.33 ලැබී ඇති බවත් ඒ තුළින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල කර තිබෙන බවත් පොලීසිය මෙහිදී පෙන්වා දුන්නා.
පොලීසිය අධිකරණයේ හමුවේ දී පැවසුවේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් හෝටලයක මත්ද්‍රව්‍ය ග්‍රෑම් 440යි මිලිග්‍රෑම් 845ක් හා ජීවඋණ්ඩ 9ක් සන්තකයේ තබාගෙන සිටියදී දිසානායක නැමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම තර්ජනාත්මක ඇමතුම ලැබී ඇති බවයි.
මෙම දුරකථන ඇමතුම පටිගත කර තිබෙන බවත් ඊට අදාළ සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එහි අන්තර්ගත දත්ත සම්බන්ධ වාර්තා කැඳවීමට කටයුතු කරන බවත් පොලීසිය පවසනවා.
මේ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන ලෙස පොලීසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසද නියම කළා.
