සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින් ලොකු ලූනු සහ අර්තාපල් බද්ද ඉහළට

2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින්, ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ඉහළ දමන නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) අනුමත කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (21) වනදා පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව, 2025 අගෝස්තු 26 සිට ක්‍රියාත්මක වන පරිදි,
ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයකට බද්ද රු. 40 සිට රු. 50 දක්වා
ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයකට බද්ද රු. 60 සිට රු. 80 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට පෙර සැලසුම් කර තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් එය තවදුරටත් පවත්වා ගැනීමට රජය තීරණය කර තිබේ. කාරක සභාව නිර්දේශ කළේ වෙළෙඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය පවතින නීති ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සමඟ ඒකාබද්ධ කරමින් නව බදු ව්‍යුහය ක්‍රියාත්මක කිරීමටයි.

අදාළ වාර්තාවක් 2026 මාර්තු මස අවසානයේදී ඉදිරිපත් කිරීමටත්, එහිදී “Four-band import duty” ක්‍රමයට මාරුවීම සහ 2027 සිට 2030 දක්වා කාලය තුළ SCL සහ CESS බද්ද ක්‍රමානුකූලව ඉවත් කිරීම පිළිබඳ විස්තර ඇතුළත් කිරීමටත් උපදෙස් ලබාදී ඇත.

කන්න අනුව පනවන බදු මත රඳාපැවතීම අඩු කිරීමට, ලොකු ලූනු වගාව සඳහා ඉහළ අස්වැන්නක් ලබා දෙන නව තාක්ෂණික ක්‍රම පුළුල් කිරීමටත්, එම ව්‍යාපෘතිය වසර පහක් ඇතුළත රටපුරා ක්‍රියාත්මක කිරීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත. ඒ සමඟම “ප්‍රභාෂ්වර” වැනි උෂ්ණත්ව සහ ආර්ද්‍රතාව පාලනය කරන ගබඩා, ආපසු මිලදී ගැනීමේ ගිවිසුම් (Buy-back agreements) සහ අනාගත කොන්ත්‍රාත්තු (Futures contracts) වැනි ක්‍රමවේද භාවිතයද කාරක සභාව අවධාරණය කර ඇත.

Tags