දේශීය පුවත්
මහින්දගේ PSOට ඉන්ධන හලක්, හෝටලයක්, ඉඩම් ඇතුළු මිලියන 28ක වත්කම්
අල්ලස් කොමිසම මඟින් රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි, ඔක්තෝබර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අද (02) දිනයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර, ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.
අල්ලස් කොමිසමේ නීතිඥයන් අධිකරණය හමුවේ දක්වූ කරුණු අනුව, විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීමෙන් සැකකරු වසර ගණනාවක් මඟහැරී තිබෙන අතර, ඔහු සතු වන ඉඩම්, නිවෙස්, ඉන්ධනහල්, හෝටල් සහ වාහන රැසක් පිළිබඳ තොරතුරු දැනටමත් අනාවරණය වී ඇත.
ඉන් අතර, නෙවිල් වන්නිආරච්චිගෙන් සොයාගත් දේපළ අතරට වලස්මුල්ලේ ඉන්ධනහල්, මහරගම නාවින්නේ රු. ලක්ෂ 125ක් වටිනා නිවසක්, තිස්සමහාරාමයේ හෝටලයක්, මාදිවෙලේ රු. මිලියන 400ක් වටිනා ඉඩමක් සහ බස්–ටිපර් රථ ගණනාවක් ඇතුළත් බව විමර්ශනවලදී හෙළිව ඇත.
අල්ලස් කොමිසමේ නීතිඥවරුන් සඳහන් කළේ, සැකකරුට ඇප ලබා දුන්නේ නම් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකිවන බවයි. එහෙත්, සැකකරුගේ නීතිඥවරුන් එය ප්‍රතික්ෂේප කරමින් ඔහු විමර්ශනවලට සහාය ලබා දුන් බව කියා ඇප ඉල්ලීම ඉදිරිපත් කළහ.
කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරයා කරුණු සලකා බැලීමෙන් පසු, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔක්තෝබර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, එදාටම සැකකරු සතු දේපළ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමට නියෝග කළේය.
