දේශීය පුවත්
ස්ථාන දෙකක සිදුවූ වෙඩි තැබීම්වලින් එක් පුද්ගලයෙකුට තුවාල
මීගොඩ මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (13) රාත්‍රී 10ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් අහසට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එක් වෙඩිල්ලක් පමණක් තබා ඇති අතර උණ්ඩය සහ උණ්ඩ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයා ගැනීමට හැකි වූ බවයි.
වෙඩි තැබීමෙන් අනතුරුව මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් තිබෙනවා.
සිද්ධියෙන් පසු මීගොඩ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.
මේ අතර හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළිව නැහැ.
සිද්ධිය සම්බන්ධව හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
