දේශීය පුවත්
රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවාවන් ඇනහිටියි
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ තාක්ෂණික අක්‍රියතාවයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යන මාර්ගගත සේවාවන්ට තාවකාලික ලෙස බාධා සිදුවී ඇත.
මෙම සේවාවන් අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ–පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි ද ඇතුළත් වේ.
තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන් මේ අවස්ථාවේදී LGC සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටින බව සඳහන්ය.
මේ අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තොරතුරු පද්ධති වල සහය නොමැතිව (manually) සහතික පිටපත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවය.
පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම ආයතන වෙත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව නිසි දැනුම් දී ඇති අතර, ICTA ආයතනය පවසා ඇත්තේ LGC සේවාවන් නැවත ස්ථාපනය කිරීම සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබාදී ඇති බවයි.
එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, 2025 ඔක්තෝබර් මස ආරම්භ කරන ලද LGC ව්‍යාප්තියේ මීළඟ අදියර ක්‍රියාත්මක කිරීම තුළින් පවතින ධාරිතා සහ මෙභෙයුම් සීමාවන් සපුරා ගැනීමට අපේක්ෂා කරන බවය.
ICTA ආයතනය මහජනතාවට සහ LGC හි සේවාවන් භාවිතා කරන ආයතනවලට සිදු වූ අපහසුතාවය පිළිබඳව කනගාටුව පළ කරමින්, හැකි ඉක්මනින්ම මාර්ගගත සේවාවන්හි පූර්ණ ධාරිතාව යථා තත්ත්වයට පත් කිරීමට සියලු ප්‍රයත්නයන් ගනු ලබන බව දැනුම් දී ඇත.
