දේශීය පුවත්
ගල්කිස්ස අධිකරණයේ සිදිදිය සම්බන්ධයෙන් නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය යයි
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා ඇති පරිදි, එම සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ බොරලැස්ගමුවේ නිවසට ගියද, ඔහු එවෙලේ නිවසේ නොසිටින බවට තොරතුරු ලැබී ඇත.
පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීමේ චෝදනා යටතේ අදාළ නීතිඥවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි.
පසුගිය සිකුරාදා (10) දින ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුගේ මෝටර් රථය පිටතට ගන්නා අවස්ථාවේ ඇති වූ සිද්ධියකදී, පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබුණි. එම අවස්ථාවේදී නීතිඥයන් දෙදෙනෙක් පොලිස් නිලධාරියෙකුට පරුෂ වචන භාවිතා කරන අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවකද දැක්වෙයි.
එම වීඩියෝවෙහි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා “ප්‍රියන්ත මගේ ජුනියර් බැජ් එකේ… ප්‍රියන්තට කියන්න මට ගන්න කියලා…” යනුවෙන් ප්‍රකාශ කරමින් පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන ආකාරය පෙනී යයි.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් අනුව, නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකතන සංවාදයක් සිදු වී නොමැති බව පැහැදිලි කර ඇත.
අදාළ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයා ගල්කිස්ස කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර, පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කිසිදු නියෝගයක් ලබාදී නැතැයිද පොලිසිය පවසයි.
එහෙත් පසුව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නඩුව අද (13) දිනයේ යළි කැඳවීමට නියමිතය.
