සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පුවක්දණ්ඩාවේ සනා ගැන අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධව විමල් වීරවංශට එරෙහිව නීතිමය පියවර ගන්නවා – පොලිසිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ‘බෙලිඅත්තේ සනා’ නොහොත් ‘පුවක්දණ්ඩාවේ සනා’ යන අය සම්බන්ධව විමල් වීරවංශ විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

‘වීරසිංහගේ සරත්’ නොහොත් ‘බෙලිඅත්තේ සනා’ නොහොත් ‘පුවක්දණ්ඩාවේ සනා’ යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත්, ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවත් එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්ත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවද, ‘වීරසිංහගේ සරත්’ නොහොත් ‘බෙලිඅත්තේ සනා’ නොහොත් ‘පුවක්දණ්ඩාවේ සනා’ යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිතුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී ‘වීරසිංහගේ සරත්’ නොහොත් ‘බෙලිඅත්තේ සනා’ නොහොත් ‘පුවක්දණ්ඩාවේ සනා’ යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බව නොව, එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවද විමල් වීරවංශ විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, 2025.10.02 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදු කරන ලද ප්‍රකාශ වලට අදාලව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැති බවත්, එම නිසා, දැන දැනම අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

Tags