දේශීය පුවත්
ප්‍රසන්න රණවීර ඇප මත නිදහස්
ව්‍යාජ ඔප්පු සකස් කර රජයේ ඉඩමක් අලෙවි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ගම්පහ මහාධිකරණය මගින් අද (30) ඇප හිමි විය. අදාළ ඇප අයදුම අද දිනයේදී යළි විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් මහාධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය විසින් මෙම තීරණයට එළැඹිණි. ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ මෙම සිද්ධියටම අදාළ අනෙක් සැකකරු වන සරත් එදිරිසිංහ යන දෙදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කෙරිණි.
එක් එක් සැකකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ එම වටිනාකමින්ම යුතු ශරීර ඇප පහක් නියම කෙරුණු අතර, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවට ද නියම විය. තවද, සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා කළ යුතු බවට ද මහාධිකරණ විනිසුරුවරිය විසින් ඇප කොන්දේසි ප්‍රකාශයට පත් කරමින් නියෝග කරන ලදී.
