දේශීය පුවත්
ජනපති අනුර ජර්මන් සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියා.
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ නිල ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා හෙට (11) සිට ලබන 13 වනදා දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වනු ඇති.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කරන නව මාර්ග සම්බන්ධ සාකච්ඡා කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා අවධාරණය කිරීමට නියමිතයි.
ඊට අමතරව මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් මෙන්ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලංකිකයන්ද හමුවීමට නියමිතව තිබෙනවා.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී ඇති බව වාර්තා වනවා.
