දේශීය පුවත්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි ප්‍රහාරයකින් මියයයි
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි. සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය. අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.
වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ ඔවුන් අතර රැඳී සිට තිබේ. ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.
සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල සිදුව තිබුණි. රැස්ව සිටි පිරිස සභාපතිවරයා කඩිනමින් රෝහල්ගත කළ නමුත්, රෝහල්ගත කිරීමෙන් පසුව සභාපතිවරයා මියගිය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ලසන්ත වික්‍රමසේකර මහතා 38 හැවිරිදි වියේ පසුවුණි. වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණයෙන් ක්‍රියාත්මකය.
