සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර පවසයි

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට රාජ්‍ය නිලධාරීන්ට දැඩි වගකීමක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ අදහස ප්‍රකාශ කළේ අද (14) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

මෙහිදී 2025 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, ගැටලු සහ අභියෝග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණාය.

ජනාධිපතිවරයා පැවසුවේ, වෙන් කළ ප්‍රතිපාදන භාණ්ඩාගාරයට ආපසු යාම වැළැක්වීමේ වගකීම නිලධාරීන්ට ඇති බවත්, එසේ නොවූ විට සංවර්ධන ක්‍රියාවලි බාධා වන අතර මුදල් නාස්තියක් සිදුවන බවත්ය.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, ඉදිකිරීම් ව්‍යාපෘතිවල නඩත්තුව සහ භාවිතය පිළිබඳ නිසි සැලසුම් නොකිරීමෙන් රජයට අමතර වැය බරක් පැනනගින බවයි.

ඒ අනුව, පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වය යටතේ පාළු වී ගිය රජයේ ගොඩනැගිලි ප්‍රයෝජනවත් ලෙස භාවිතා කළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර හා නායයාම් අවදානම්, මත්ද්‍රව්‍ය හා ළමා අපරාධ පාලනය සහ පතල් කර්මාන්ත ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසානයේ ප්‍රකාශ කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු නිසි අරමුණු සහිතව ක්‍රියාත්මක කර ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලබා දීම තම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.

Tags