සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වැලිගම සභාපති ඝාතනය සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් තිබේ. පසුගිය 22 වනදා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වැලිගම සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් පොලිස් නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුමේදී අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පරීක්ෂණයකදී සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිසිය සමඟ පොර බඳා පලා ගොස් ඇත. එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් අය සමඟින් රුපියල් ලක්ෂ 12කට අධික මුදල්, මත්ද්‍රව්‍ය සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගත් බවයි.

මේ අතර, මෙහි ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති අයෙකු හක්මන පරනලියනගේ නුවන් තාරක අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී. ඔහු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර දකුණු අතේ “ANURADA” හා වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇත.

මෙම සැකකරු පිළිබඳ තොරතුරු තිබෙන අය විසින් පහත අංක වෙත දැනුම් දිය හැකියි,

පොලිස්පතිට කියන්න (WhatsApp) – 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය – 011 233 7162 / 071 859 2087

පොලිස් විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව සහ විවිධ විමර්ශන ඒකක එක්ව මේ සම්බන්ධයෙන් විමර්ශන දිගටම කරගෙන යයි.

Tags