දේශීය පුවත්
එජාපයෙන් සමඟියට ගිය අයගේ තහනම ඉවතට?
සැප්තැම්බර් 6 වනදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය ඊයේ (31) පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී යෝජනා වී තිබෙනවා.
මීට අදාළ යෝජනාව ලබන 3 වනදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතයි.
තවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී දැනට පක්ෂය හැර ගියා සේ සලකා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සාමාජිකයින්ගේ තහනම ද ඉවත් කිරීමේ යෝජනාව ද ඉදිරිපත් කෙරෙනු ඇති.
එළැඹෙන දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට පෞද්ගලිකවම කතා කර පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර විපක්ෂයේ නියෝජිතයින්ට සහභාගී විය හැකි පරිදි පක්ෂ සම්මේලනය සිරිකොත පක්ෂ මුලස්ථානයේ නොපවත්වා වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව ද වාර්තා වනවා.
