දේශීය පුවත්
ගල්කිස්ස අධිකරණ සිදුවීමේදී නීතිඥවරයා පොලිස්පතිට අමතා තිබූ බවට පැතිරුණු වාර්තා අසත්‍යයයි – පොලීසිය
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදුවූ බව කියන නීතිඥ-පොලිස් ගැටුම සම්බන්ධයෙන්, නීතිඥවරයා විසින් පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන කතා කළ බවට පළවන පුවත් අසත්‍ය බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පටයක පෙනෙන පරිදි නීතිඥවරයා “ප්‍රියන්ත මගේ ජූනියර් බැජ් එකේ… ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න…” යනුවෙන් පවසන අයුරු දක්නට ලැබුණද, එමඟින් ඔහු සහ පොලිස්පතිවරයා අතර කිසිදු සංවාදයක් සිදු වී නොමැති බවය.
පොලිසිය පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝ දර්ශන සහ සාක්ෂි නඩු භාණ්ඩ ලෙස ලබාගෙන ඇති අතර, ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි.
අදාළ සිද්ධිය ගැන දැන ගත් පසු පොලිස්පතිවරයා විසින් ගල්කිස්ස කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කිසිදු නියෝගයක් ලබාදී නොමැති බවද නිවේදනයේ සඳහන් වේ.
නමුත්, ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් සහ අධිකරණ කටයුතු බාධා වූ අවස්ථාවේදී, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුව අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින්ද වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
