දේශීය පුවත්
දීපවාලී සහ දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ බස් රථ සැලැස්මක්
දීපවාලී උත්සවය සහ එළැඹෙන දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් ප්‍රාදේශීය හා දූර ගමන් මගීන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා විශේෂ බස් රථ ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා ඇත.
මෙම සැලැස්ම යටතේ හැටන්, වැලිමඩ, බදුල්ල, පස්සර, වව්නියාව සහ යාපනය වැනි ප්‍රදේශවලට වැඩි මගී ඉල්ලුමක් අපේක්ෂා කරමින් බස් රථ උපරිම ධාරිතාවෙන් ධාවනය කිරීමට නියමිතය.
කොළඹ සහ බස්නාහිර පළාතේ බලපත්‍රලාභී බස් රථද මෙම අවස්ථාවේදී වැඩි මගී ඉල්ලුම පුරවා ගැනීම සඳහා යොදවනු ඇත. තාවකාලික අවසරපත්‍ර නිකුත් කිරීම බැස්ටියන් මාවතේ ජාතික ගමනාගමන කොමිෂන් සභා කාර්යාලය මඟින් සිදු වන අතර, ඒ සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක්ද පත් කර ඇත.
ඊට අමතරව, උත්සව කාලය අවසන් වූ පසු කොළඹට නැවත පැමිණෙන මගීන්ට ප්‍රවාහන පහසුකම් සපයන ලෙස පළාත් ප්‍රවාහන අධිකාරිවරුන්ටත් උපදෙස් ලබාදී ඇති බව සභාව සදහන් කරයි. කොළඹ බස් නැවතුම්පලවල වැඩි මගී ප්‍රවාහය පාලනය කිරීම සඳහා නිලධාරීන් යෙදවනු ඇති බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා ඇත.
