කැනඩාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 149ක මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිංහාරගේ ජනක සිල්වා ලෙස හඳුනාගත් මෙම සැකකරු කැනඩාවේ පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙකු වන අතර, තම ස්ථිර පදිංචිය භාවිතා කරමින් රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ බවට අනාවරණය වී ඇත.
දස දෙනෙකුගේ පැමිණිලි මත ඔක්තෝබර් 09 දින ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශ ගමන් තහනමක්ද පනවා තිබුණි. ඔහුට එරෙහිව වලංගු බලපත්‍රයකින් තොරව රැකියා සඳහා මුදල් ලබා ගැනීමේ සහ වංචා සිදු කිරීමේ චෝදනා එල්ල වී ඇත.
මේ අතර, ෆේස්බුක් ඔස්සේ රුමේනියාව, පෝලන්තය සහ ජර්මනිය ආදී රටවල රැකියා ලබාදෙන බවට දැන්වීම් පළ කර මුදල් වංචා කළ මාවනැල්ලේ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු “නිව් රෝයල් රෙක්රූට්මන්ට්” නමින් ලියාපදිංචි නොවූ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
කාර්යාංශය පවසන්නේ විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් විශාල සංඛ්‍යාවක් වූ පැමිණිලි ලැබී ඇති අතර, මෙවැනි වංචනික ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
මෙවැනි වංචා පිළිබඳ තොරතුරු තිබෙන පුද්ගලයන් 011-2882228 යන දුරකථන අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
