සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කාන්තාවන්ගේ සමානාත්මතාවය හා සවිබලගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවී ඇත – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම්, ගෞරවය, සමානාත්මතාව සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට රජය කැපවී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් අද (13) බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

අග්‍රාමාත්‍යවරිය CNCC හි පැමිණි විට චීන ජනාධිපති ෂි ජින්පිං සහ ජනාධිපති ආර්යාව පෙං ලියුවන් මහත්මිය විසින් පිළිගත් අතර, ජනාධිපති ජින්පිංගේ ප්‍රධාන කතාවෙන් අනතුරුව ඇය ඇතුළු විවිධ රටවල් නියෝජිතයින් තම අදහස් ඉදිරිපත් කළහ.

ඇය සමුළුව ඇමතූ අවස්ථාවේදී පෙන්වා දුන්නේ,
“1995 බීජිං කාන්තා සමුළුවෙන් වසර තිහකට පසුව වුවත්, අපි තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ලක්වීම සඳහා එම පුළුල් රාමුව යොදා ගන්නවා. කාන්තා සාක්ෂරතාවය දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර මාතෘ මරණ සංඛ්‍යාවද අඩුවී ඇත. එහෙත් තවමත් අභියෝග රැසක් පවතිනවා,” යනුවෙනි.

ඇය අවධාරණය කළේ,

ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය පිරිමිවරුන්ගේ 73% කට සාපේක්ෂව 48.7% ක් පමණ බව,

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය අඩු බව,

සහ දේශපාලන ක්ෂේත්‍රයේ සමානාත්මතාව තවමත් මන්දගාමී බවය.

ඇය තවත් සඳහන් කළේ, කාන්තා නියෝජනය සහ තීරණ ගැනීමේදී ඔවුන්ගේ සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක වන බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ කාන්තා, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාත්මක සැලැස්ම (2023–2027) සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කැපවී ඇති බවත්ය.

ඇය අවසන් වශයෙන් සඳහන් කළේ, විවිධ සමාජ පසුබිම්වල සිටින කාන්තාවන් — විශේෂයෙන් කම්කරු පන්තියේ සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන්ගෙන් පැමිණෙන කාන්තාවන් — සඳහා සමාන නියෝජනය සහ අවස්ථා තහවුරු කිරීමට රජය කැපවී ඇති බවයි.

සමාරම්භක උත්සවයෙන් අනතුරුව, අග්‍රාමාත්‍යවරිය ජනාධිපති ෂි ජින්පිං සහ ජනාධිපති ආර්යාව පෙං ලියුවන් පවත්වා තිබූ නිල භෝජන සංග්‍රහයටද සහභාගී වූ බව වාර්තා වේ.

Tags