Movie Review
නෙළුම් කුළුණ බැලුවද?
අපි අද මේ කතා කරන්නේ කොළඹ නගර මධ්‍යයේ විදහාමාන වෙන උසම උස නෙළුම් කුළුණ ගැන නෙවෙයි. Ilango Ramanathan අධ්‍යක්‍ෂණය කරපු ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය ගැන තමයි අපේ මේ දිගහැරුම. වැඩිහිටියන්ට වඩාත් උචිත මේ චිත්‍රපටියේ හිනාවෙන්න තිබෙන ඉඩහසර නම් අඩුවක් නැහැ කියන එක මතක් කරන්න ඕන. මේ චිත්‍රපටයේම දමිළ ප්‍රතිනිර්මාණයක් Perusu කියන නමින් ඉලන්ගෝ විසින් ඉන්දියානු රසිකයින්ටත් රසවිඳින්න අවස්ථාව සලසලා දීලා තිබෙනවා. සිංහල සිනමාව ඇතුලේ නිර්මාණය කරලා වෙන භාෂාවන් කිහිපයකටම ප්‍රතිනිර්මාණය වුණු පළමු සහ එකම සිනමා පටයත් මෙය කියලා තමයි ඒ සඳහා දායක වුණු බොහෝමයක් දෙනා පවසන්නේ. මොකද ඉන්දියාවෙනුත් නොනැවතිලා තවත් රටවල් කීපයකත් නෙළුම් කුළුණ නැතිනම් Tentigo තිරගත කිරීම ඇරඹිලයි තියෙන්නේ.
සාමාජයීය වශයෙන් ගත්තහම අප වැනි ආසියාතික රටවල ලිංගික ජීවිතය සම්බන්ධ කාරණා විවෘතව කතා කිරීමටත් පවුල් සංස්ථාවන් ඇතුලේ ඒ පිළිබඳව තිබෙන ආකල්පයනුත් තරමක් ගුහාගත වෙලා නිරාවරණය වීමේ අඩු බවකිනුයි තිබෙන්නේ. මේ නිර්මාණයේ අපිට අහසයි පොළවයි වගේ අදහස් ආකල්ප හා චර්යාවන්ගෙන් එකිනෙකට වෙනස් සහෝදරයන් දෙන්නෙක් බලාගන්න පුළුවන්. අයියා කැම්පස් කාරයෙක්. මල්ලී ඩේලි අඩියක් ගහගෙන චිල් එකේ වැඩි බරක් ගන්නේ නැතුව ඉන්න හදන කොල්ලෙක්. මන් චිත්‍රපටයේ එක දෙබසක් උපුටා ගන්නම්.
” අයියට පේනවද අර පොල් ගස් දෙක? ඕක අපේ තාත්ත හිටෙව්වේ. අර කෙලින් තියෙන ගහ අපේ අයියා. ඇදේට තියෙන ගහ මං. අපි ඉතින් කොහොමත් පොඩ්ඩක් ඇදේටනේ යන්නේ. “
ඉතින් මේ සහෝදරයො දෙන්නට තමයි තාත්තගේ අවමගුල කරන්න වෙන්නේ. හැබැයි මෙතන හැමෝගෙන්ම වහන් කරන්න දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි තාත්තා මැරෙද්දී එයාගේ කුළුණ කෙලින්. අසල්වැසියන්ට ඥාතීන්ට මේ ප්‍රශ්ණේ කියාගන්න බැරුව පවුලේ උදවිය ගහන ගේම චිත්‍රපටය පුරාම ඉල ඇදෙනකන් හිනාවෙවී ඔයාලට බලන්න පුළුවන්. අයියට දැනගන්න උවමනා වෙනවා තාත්තා මැරෙන්න කලින් එයා ගැන මොනවමහරි කිව්වද කියන එකත්. මොකද මල්ලියි තාත්තයි හරි සමීපයි දෙන්නා හැමදාම හවසට හීනියට අඩියක් ගහන නිසා. එකම පවුලේ උනත් සබඳතාවල තිබෙන දුරස් බව සහ කිට්ටු බව නිර්මාණය ඇතුලේ මතු කරන්නත් සියුම් උත්සාහයක් අරගෙන තිබෙනවා. කොහොමින් කොහොම වෙතත් පුතාලගේ ලේලිලා දෙන්නටනම් තියෙන්නේ අමුතුම ප්‍රශ්ණයක්. ඒ තාත්තගේ වගේ කුළුණක් පුතාලා දෙන්නට නැති එක.
මේ නිර්මාණයට නෙළුම් කුළුණ කියන නම දාන්න හේතු වුණේ ඇයි කියලා මට හැගෙන දේශපාලනමය කාරණාවත් යන්තමින් මතු කරගෙනම ලිපිය අවසන් කරන්නම්. අපිටත් දේශපාලන ඉතිහාසයක් තිබුණනේ ආසියාවේ උසම කුළුණ හදන්න ඕන අපි, ණය වෙලා හරි ලෝකෙට පේන්න උස දේවල් ලොකු දේවල් කරන්න ඕන වගේ පොඩි ආධිපත්‍යමය දේශපාලනික මනෝභාවයක්. ඉදින් මේ පාරම්පරික වලව්කාර පියාගෙනුත් වයසට ගියත් තමාගේ කුළුණ කෙලින් කියලා පෙන්වන්න හදන්නේ ඒ තිබුණු දේශපාලන මනෝභාවයද කියලා ප්‍රේක්‍ෂකයෙක් විදිහට මට පොඩි සැකයක් උපදිනව. කොහොම නමුත් නිර්මාණය හරහා කියාපානව කාලෙකට කලින් බොහොම ආඩ්‍ය විදිහට වැජඹුනත් මේ වෙද්දී වලව්වේ එහෙම ශක්තිමත්භාවයක් නැතය කියන එක. හේතුව චිත්‍රපටය පටන් ගන්නේම ගෙදර තියෙන පරණ කාර් එක විකුණලා දාන්න ඕන කියන කතා බහින් වන නිසා.
කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස්, කෝරලගේ සමන්, සංජීව උපේන්ද්‍ර වගේ වේදිකා නාට්‍ය වල අපි දැකපු දැවැන්ත චරිතත් වේදිකාවට පරිභාහිර උනත් සිනමාවේ දැවැන්තිනියක් වන දිල්හානි අශෝකමාලාවත් ඔයාලට නෙළුම් කුළුණේ දැකගන්න පුළුවන්. Low budget සහ Dark comedy ඝණයේ චිත්‍රපටියක් වෙන නෙළුම් කුළුණ මුලින් කීව වගේම වැඩිහිටියන්ට වඩාත් උචිතයි. පැයකුත් විනාඩි 45 පුරාවටම රසාස්වාදයේ අඩුවක් නැහැ කියන එකත් මතක් කරන්නම ඕන. එහෙනම් තවත් සිනමා නිර්මාණයක් ගැන විස්තර අරගෙන නැවත දවසකින් හමුවෙමු!
