දේශීය පුවත්
විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ නියමයන් හා කොන්දේසි ගැසට් නිවේදනය වෙයි
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
ඉන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා හිමිකම් ලබන විදුලිබල මණ්ඩල සේවකයින්ට අදාළ නියමයන් හා කොන්දේසි මෙලෙස ගැසට් කර තිබෙනවා.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළව මෙම නියෝග ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර කාර්යය මණ්ඩලය යටතේ සේවය කරන සේවකයෙකුට ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයට අනුව ගෙවනු ලබන වන්දි මුදල් මෙම ගැසට් නිවේදනය මඟින් තවදුරටත් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වනවා.
වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවයෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන අවස්ථාවකදී ඔහු සේවයේ යෙදුනු සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කිරීමට ඉතිරිව ඇති කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප වන්දි වශයෙන් හිමිවන බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
වසර 10ක වඩා අඩු සේවා කාලයක් ඇති සේවකයින් සඳහා සේවය කරන ලද සේවා කාලයට අදාළ සෑම මාස 12ක් සඳහා මාස 5ක වැටුප වන්දි ලෙස පිරිනැමෙන අතර සේවය කිරීමට ඉතිරිව ඇති කාලයට අදාළව කිසිඳු ගෙවීමක් නොගෙන බවද එහි දැක්වෙනවා.
තවද කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින්ට වන්දි ලබාදෙන ආකාරය මෙන්ම තවත් නියමයන් සහ කොන්දේසි කිහිපයක් අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
