දේශීය පුවත්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පනවන තීරු බද්ද 20% දක්වා අඩු කරයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබෙනවා.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර එය අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.
ධවල මන්දිරය නිකුත් කළ නවතම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක්ම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙලා ඇති බව සඳහන්.
මේ අනුව දකුණු අසියානු රටවල්වන බංග්ලාදේශයෙන් 20%ක්, පාකිස්ථානයෙන් 19%ක් දක්වා ද අඩු කර තිබෙනවා.
කෙසේ නමුත් අමෙරිකාව ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන තීරුබදු ප්‍රතිශතය වෙනස් කර නොමැති අතර එය 25% සීමාවේ එලෙසම පවතිනවා.
මේ අතර ආරම්භයේ දී 50%ක දැවැන්ත තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ බ්‍රසීලයේ ආනයන මත පනවන බද්ද 10%ක් දක්වා අඩු කර තිබීම ද විශේෂත්වයක්.
තවද අමෙරිකාවේ ප්‍රධානම මිතුරු රාජ්‍යයක් වන ඊශ්‍රායලයෙන් අයකරන තීරු බදු අනුපාතද 15% දක්වා අඩුකර තිබෙනවා.
මෙම පහත දැමු තීරු බදු අනුපාත අතර ඉහළම ප්‍රතිශතය 41%ක් වන අතර එය සිරියාව වෙනුවෙන් දක්වා ඇති බව සඳහන්.
තවද ලාඕසයෙන් හා මියන්මාරයෙන් 40% බැගින් අය කරන බවද ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වෙනවා.

