දේශීය පුවත්
ප්‍රවීණ රංගන ශිල්පි රංජිත් ද සිල්වා අතුරුදන් වෙයි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන රංජිත් ද සිල්වා මහතා අතුරුදන්ව ඇති බව ඔහුගේ ඥාතීහු පවසති. පසුගිය 19 වන දින සවස 6.00 ට පමණ නිවසෙන් පිටත්ව ගොස් ඇති ඒ මහතා පිළිබඳ මේ වනතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.
මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන්, ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ලහිරු විජේරත්න මහතා පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අතුරුදන් වූ විට, වයස 75 වන රංජිත් ද සිල්වා මහතා ඩිමෙන්ෂියා හෙවත් අමතක වීමේ රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටින බවත්, නිවසෙන් පිටත්ව යන අවස්ථාවේදී සුදු පැහැති ටී-ෂර්ට් සහ නිල් පැහැති ඩෙනිම් කලිසම ඇඳ සිටී බවත් ඥාතීන් සඳහන් කරති. අවසන් වරට ඒ මහතා කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදී කිහිප දෙනෙකු විසින් දැක ඇති බවද තොරතුරු ලැබී තිබේ. නිවසෙන් පිටත්ව යද්දී ඔහු මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය රැගෙන නොගොස් තිබේ.
එක් දරු පියෙකු වන රංජිත් ද සිල්වා මහතා “ඉසුරු භවන”, “පිටගම්කාරයෝ”, “දැවැන්තයා” වැනි ටෙලිනාට්‍ය මෙන්ම “නෙයිනගෙ සූදුව” සහ “සාජන්ට් නල්ලතම්බි” ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දී ඇත.
ඊයේ (20) සවස දක්වා ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නොලැබී ඇති අතර, ඇතැම් තොරතුරු දන්නා පුද්ගලයෙකුගේ හමුවන ලද්දේ නම්, 071-6543296 හෝ 076-7396901 යන දුරකථන අංක වලට හෝ ළඟම පොලිස් ස්ථානයට දන්වන ලෙස ඥාතීහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
