සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කොළඹ බලය කාටද? තීරණය අද

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කිසිඳු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළා.

මේ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේ දී නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදු කිරීමට නියමිතයි.

මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ථ සභික ගණන සභික ධූර 48ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමඟි ජන බලවේගයට සභික ධූර 29ක් හිමි වුණා.

එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධූර 4ක් සහ සර්වජන බලයට සභික ධූර 2ක් හිමි වූ අතර සෙසු සභික ධූර සංඛ්‍යාව අනෙක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී යනු ලැබුවා.

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිඳු පක්ෂයක් විසින් 50%ක් ඉක්මවූ බහුතර සභික ගණනක් ලබා නොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කර ගැනීම සඳහා අද (16) පැවැත්වෙන මංගල රැස්වීමේ දී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට අදාළ ඡන්ද විමසීම අද (16) පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතයි.

ජාතික ජන බලවේගය සහ සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රකාශ කර තිබීම හේතුවෙන් අද (16) පැවැත්වෙන ඡන්ද විමසීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Tags