සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

යෝෂිතට සහ ඩේසි ෆොරෝස්ට්ට අධිචෝදනා භාර දෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෝස්ට් මහත්මියට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදු වුණා.

ඉන්පසුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද විනිසුරුවරයා නියම කළා.

ඊට අමතරව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කර තිබෙනවා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක 1 මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බවයි.

එම ලේඛන පරික්ෂා කර යම් අඩුපාඩුවක් තිබෙන නම් අධිකරණයට දැනුම් දෙන ලෙසද විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඉන්පසුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසද විනිසුරුවරයා මෙහිදී නියම කළා.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබෙනවා.

Tags