සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

සරම්ප රෝගය පිළිබඳව ඔබ දැනගත යුතුම දෑ..

ශ්‍රී ලංකාව යනු සරම්ප රෝගය තුරන් කරනු ලැබූ රටක් වූවද මේ වන විට දිවයින තුලින් සරම්ප රෝගීන් හඳුනාගැනීමේ තත්ත්වයක් පැන නැගී ඇත​. වාර්තාවන්හි සඳහන් ආකාරයට එම​ රෝගීන් ගණන සංඛ්‍යාත්මකව 1100 පමණ වන අතර​, විශේෂයෙන්ම වයස අවුරුද්දට අඩු දරුවන් සිටින දෙමාපියන් තම දරුවන්ට නියමිත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම කෙරෙහි අවධානය යොමු කල යුතුව ඇත​.

සරම්ප යනු (Measles) පැරමික්සො (Paramyxo) වෛරස කාණ්ඩයට අයත් ශ්වසන රෝගයකි. සරම්ප රෝගය වැළඳුනු අයකු කහින විට පිට වන සෙම බිඳිති ශ්වසන පද්ධතිය හරහා ශරීරගත වීමෙන් තවත් අයෙකුට බෝවිය හැකිය. සෞඛ්‍ය අංශ සඳහන් කරන ආකාරයට රෝගය වැළඳුණු එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයන් 18 දෙනෙකුට පමණ සෙම බිඳිති මගින් එම රෝගය පැතිරවීමට හැකියාව ඇත​. වෛරසය ශරීරගත වී සති දෙකකින් පමණ පසු රෝග ලක්ෂණ මතු වන අතරම​, රෝග ලක්ෂණ මතුවීමට දින කිහිපයක සිටම ආසාදිතයාගෙන් වෙනත් අයකුට රෝගය බෝවිය හැකිය.

මූලික රෝග ලක්‍ෂණ වශයෙන් ගත්කල ප්‍රථමව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව පෙන්නුම් කරයි. ඉන්පසු උණ, නාසයේ බර ගතිය, සොටු දියර ගැලීම සිදු වේ. ඒ සමගම ඇස් දෙක තද පැහැයට රතු වීමට පටන් ගනී. රෝග ලක්‍ෂණ මතු වී දින 04 කට පසු සමේ රතු ලප මතු වේ. මෙම රතු ලප සිරුර පුරාම දැකිය හැකි වන අතර, එය හැඩයකට අනුව පැතිරීමට පටන් ගනී. එනම් පළමුව මුහුණේත්, ඉන්පසු පපුව ප්‍රදේශයේත් පිට දෙපැත්ත, දෙඅත්, දෙපා ලෙස සිරුරේ පහළට පැතිර යනු ඇත​. සරම්ප වැළඳුණු රෝගීන්ට තද උණ ඇතිවන අතර​, තෙහෙට්ටුව, මලානික බව හා ආහාර ප්‍රතික්‍ෂේප කිරීම වැනි රෝග ලක්‍ෂණ වලට ද මුහුණ පෑමට සිදුවේ. ෆැරන්හයිට් අංශක 104 ට පමණ ඔවුනගේ උණ උත්සන්න වීමට වුවද ඉඩ ඇත​.

ඉහත කී රෝග ලක්‍ෂණ සතියකින් පමණ පසු පහව යන මුත් සරම්ප රෝග කාරක වෛරසය නිසා සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වී පසුකාලීනව නිව්මෝනියාව හෝ මොළයට බලපෑම් එල්ල වීම ආදිය සිදු විය හැකිය.

රෝගය වළක්වා ගැනීම සඳහා දරුවකු ඉපදී මාස 09 න් හා අවුරුදු 03 දී සරම්ප රෝගය බෝවීම වැළැක්වීමට ලබාදෙන එන්නත අනිවාර්‍යයෙන් ලබා ගැනීමට කටයුතු කරන්න​. ඔබ වයස අවුරුදු 30ට අඩු නම්; කුඩා කාලයේදී සරම්ප එන්නත ලබාගත් බවට වන වාර්තාවන් මේ වන විට අස්ථාන ගතවී ඇත්නම්, හෙට (09) දිනයේදී ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහනට සහභාගී වන්න​.

සරම්ප රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත් ලබාගත යුත්තේ රෝගය වැළඳුනහොත් විශේෂිත ප්‍රතිකාර නොමැති බැවිනි. එහිදී කළ හැක්කේ රෝගී තැනැත්තාගේ නිසි පෝෂණය පවත්වාගෙන යෑම සහ විජලනය තත්ත්වයෙන් වළක්වාගෙන උණ තත්ත්වය වහාම පාලනය කිරීම පමණි.

Tags