දේශීය පුවත්
රුපියල් කෝටියකට අධික ජංගම දුරකථන සහ භාණ්ඩ සමග සැකකරුවන් 4 දෙනෙකු මාලිගාවත්තේදී අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපොළ හරහා රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන, සුවඳ විලවුන් සහ විවිධ උපකරණ රේගු බැරකම් ගෙවී නොමැතිව රැගෙන ආ බවට සැක පලවන පුද්ගලයන් 4 දෙනෙකු මාලිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර දෙමස්සිනාලා දෙදෙනෙකුද සිටින බව පොලීසිය පවසයි.
පොලීසිය සොයාගත් භාණ්ඩ අතරින් ස්මාට් ජංගම දුරකතන 26ක්, අයිපැඩ් 10ක්, ටැබ් 10ක්, ලැප්ටොප් 3ක්, විවිධ සුවඳ විලවුන් සහ ශරීර ආලේපන තොගයක් ඇතුළත් බවද කියා ඇත.
මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. බී. එස්. කල්‍යාණතුංග මහතාට ලැබුණු තොරතුරක් අනුව, මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කළ වැටලීමකදී මෙම භාණ්ඩ තොගය සොයාගත් බවයි.
සැකකරුවන් පසුගිය සැප්තැම්බර් 30 වන දින ඩුබායි ගොස් තිබුනි. ඔවුන් ඔක්තෝබර් 2 වනදා නැවත මෙරටට පැමිණීමේදී, මෙම භාණ්ඩ නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණ ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාවත්ත සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන මාලිගාවත්ත පොලීසිය මගින් සිදු කරයි.
