සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ ජනාධිපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී වැවිලි සමාගම් නියෝජිතයන් සහ රජයේ අමාත්‍යවරුන් සහභාගී වූ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී, පසුගිය අයවැයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුප් වැඩි කිරීම සමඟ සමානව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව සවිස්තරව සාකච්ඡා කෙරිණි.

ජනාධිපතිවරයා වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, එම වැඩි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සමාගම් නියෝජිතයන් සමඟ විමසීම් සිදු කළේය.

එසේම, වැවිලි කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද සමාගම් නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

රජයේ වැවිලි කර්මාන්තය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එය සාර්ථක කිරීමට රජය උපරිම සහය ලබා දෙන බවද තැත් කළේය.

මෙම අවස්ථාවේදී, වැවිලි සමාගම් නියෝජිතයන් තම ස්තූතිය පළ කරමින් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.

මෙම සාකච්ඡාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස, වැවිලි අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුළු රජයේ නිලධාරීන් සහිතව,

Agarapatana & Kotagala Plantation PLC, Kelani Valley Plantation PLC, Malwatte Valley Plantation PLC, Balangoda Plantation PLC, Browns Plantation PLC, Kahawatte Plantation PLC, Kegalle Plantation PLC, Agalawatta Plantation PLC සහ ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය ඇතුළු වැවිලි සමාගම් නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

Tags