සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

W15 වෙඩි තැබීමේ සිද්ධිය ගැන වැඩබලන පොලිපති දුන් සාක්ෂිය

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමට ගිය අපරාධ ගමනේ දී පොලිස් වෙඩි පහරින් මියගිය සැරයන්වරයාට ක්‍රම පටිපාටියෙන් පිටින් උසස්වීම් ප්‍රදානයත් මහජන බදු මුදලින් රුපියල් ලක්ෂ 40ක අනීතික වන්දියක් ගෙවීම සිදුවූයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා වූ ටිරාන් අලස්ගේ ඒකාබද්ධ මෙහෙයුමකින් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමට අදාල යෝජනාවේ ඇතුළත් චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ඊයේ (17) සාක්ෂි ලබාදෙමින්.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අපරාධ චෝදනා නැගෙන වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ කමිටුවේ ප්‍රශ්න කිරීම් හමුවේ වැඩබලන පොලිස්පතිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

සභාපති විනිසුරු – වැලිගම වෙඩි තැබීම ගැන ඔබතුමන්ගේ විමර්ශනවල ප්‍රගතිය මොකක් ද?

වැඩ බලන පොලිස්පති – ස්වාමීනි. මේ සිද්ධිය ගැන පරීක්ෂණ දෙකක් යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බැලුවට පස්සේ තමයි ඒ 7 දෙනාම සැකකරුවන් විදිහට නම් කෙරුණේ. මේ සිද්ධියට පස්සේ පොලිසිය පිළිබදව ජනතාව මත තිබුණ විශ්වාසය නැති වුණා.

මේ වගේ සිද්ධියක් ඇතිවීම හොඳ නෑ. ඇත්තටම මේ ගැන කලින් දැනුම්වත් කරලා එතෙන්ට යන්න තිබුණා. ඇත්තටම ඒ අය පොලිසිය කියලා තහවුරු කරගන්න තිබුණා. හොර පාරෙන් ආපු නිසා තමයි ඒ අය පලා යන්න උත්සාහ කළේ.

බොරු තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුවට දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – මේ සිද්ධිය ගැන ඔබතුමා මොකක් ද කරලා තියෙන්නේ.

වැඩබලන පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බලනවා. සමහර සාක්ෂි මේ අය නැති කරලා තියනවා. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට දන්වලා තියනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – මිය ගිය සැරයන්වරයාට අනීතිකි විදිහට උසස්වීම් ලබා දීලා තියනවා. ඒක නිවැරදි කරන්න ඕන නේද?

වැඩ බලන පොලිස්පති – ඔව් ස්වාමීනි. ඒ පිළිබඳව විමර්ශන සිදුකරනවා. එය අවසන් වුනාම ඒ ගැන තීරණය ගන්න පුලුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – එතකොට ජනාධිපති අරමුදලින් එතුමාට ලක්ෂ 25ක් ලබා දීලා තියනවා. ඒ ගැන ඔබතුමා දැනුම්වත් ද?

වැඩ බලන පොලිස්පති – ඔව් ස්වාමීනි… ඒ පිළිබඳව අපි සොයනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ඒ කාලයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට කටයුතු කළේ ටිරාන් අලස් මහතා. මියගිය සැරයන්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇමති තුමා දැනුම්වත් නැද්ද? සම්පූර්ණයෙන්ම ලක්ෂ 40ක් රජයේ මුදල් එතුමාට ලබාදීලා තියනවා.

වැඩ බලන පොලිස්පති – මේ පිළිබඳව ඇමති තුමත් දන්නවා. එතුමා මේකට ඍජුව මැදිහත් වෙලා තියනවා. මේ පරීක්ෂණය අවසන් වෙනකම් ඒ මුදල් ගන්න පුලුවන්කමක් නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ඇමතිතුමා කොහොමද මේක දන්නේ.

වැඩ බලන පොලිස්පති – පොලිස්පති තුමයි ඇමතිතුමයි දෙන්නම එකතු වෙලා කරපු මෙහෙයුමක් තමයි මේක

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ඒ අනුව ද අර ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්තුවේ.

වැඩ බලන පොලිස්පති – ඔව් ගරු ස්වාමීනී

කමිටුව අද (18) යළි රැස්වීමට නියමිතයි.

Tags