දේශීය පුවත්
හිටපු අමාත්‍ය මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14000ක සහ දාම් ලෑලි 11000ක නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරුකර වසර 20ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බව සඳහන්.
පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා ඇත්තේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා දඩ මුදල් නියම කළ බවයි.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි අයුරින් අර්ථකථනය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවද ඔහු සඳහන් කරනවා.
තවද විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කරුණු නඩු තීන්දු දීමේ දී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් එම අභියාචනයේ පෙන්වා දී තිබෙනවා.
විත්තිකාර අභියාචක සඳහන් කර ඇත්තේ මේ අනුව තමාට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බවයි.
මේ අනුව අදාළ තීන්දුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
