සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ජනපති රනිල්ගේ නඩුව අද නැවත කැඳවයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපල පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

සිද්ධියට අදාළව පසුගිය 22 වනදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදිනම ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

දැනට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ අනුව ඔහු අද (26) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදු කරන අතර අද (26) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වනවා.

මේ සම්බන්ධව අදහස් දක්වන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“සවස 5 වනවිට පංච පුද්ගල විශේෂඥවරුන් කණ්ඩායමක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ වාර්තාවට අනුව ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය බව පවසලා තියෙනවා. ඒ අනුුව ඉදිරි පැය 24 තුළත් ඔහු ICU එකේ රැඳෙන්න ඕනේ කියන මතය තමා අපිට ලැබිලා තියෙන්නේ. ඒ අනුව කටයුතු සිද්ධ වෙයි. අපි කියන්නේ විචලනයට භාජනය වුණා එහි සංකූලතා මතුවුණා. එම සංකූලතාවලට ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් සංකීර්ණ සංකූලතා බවට පත්වෙයි. ඒ නිසා තමා ප්‍රතිකාර කරන්නේ.”

Tags