සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වසිම් තාජුඩීන්ට අසාධාරණයක් වී ඇත්නම් අපක්ෂපාති පරීක්ෂණයක් කළ යුතුයි – නාමල් රාජපක්ෂ

වසිම් තාජුඩීන් සම්බන්ධ සිදුවීමේදී ඔහුට යම් අසාධාරණයක් සිදුව ඇත්නම්, එය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඔක්තෝබර් 01 වන දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ, තාජුඩීන් සිදුවීම රාජපක්ෂ පවුලට එරෙහිව අභූත චෝදනා ගොඩනැගීමට භාවිතා කරන ලද්දක් යන්නයි. ඉදිරිපත් කළ චෝදනා අතර, නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් බලහත්කාරයෙන් අසත්‍ය සාක්ෂි ලබාගත් බවද, එම නිලධාරීන්ම අද වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු හිමි කරගෙන සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ආණ්ඩු සතුටු කිරීමට උත්සාහ කරන බවට නාමල් රාජපක්ෂ චෝදනා කරයි. අදාල සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කිරීම තුළින් අධිකරණ ක්‍රියාවලියට හානි වන බවද ඔහු සදහන් කළේය. එය දේශපාලන කතිකාවක් ගොඩනැගීමේ උත්සාහයක් ලෙසද ඔහු චෝදනා කළේය.

රාජපක්ෂ මහතා තවදුරටත් පැවසුවේ, ආණ්ඩුව විවිධ ගැටලු හමුවේ අපහසුතාවට පත්වන අවස්ථාවකදී ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා තාජුඩීන් සිදුවීම නැවත නැවත මතු කරන බවයි. අනතුරු ඇඟවීමක් ලෙස, යම් නිලධාරියෙකු හෝ පුද්ගලයෙකු රජයේ අවශ්‍යතාව මත මාධ්‍ය වෙත අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවා නම් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය. අවසානයේ ඔහු කියා සිටියේ වසිම් තාජුඩීන් සම්බන්ධයෙන් අපක්ෂපාතිකව පරීක්ෂණ කරන ලෙසයි.

Tags