සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආණ්ඩුව හැංගු රේගු කමිටු වාර්තාව මුජිබර් පාර්ලිමේන්තුවේදී එළියට දායි

ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව අද (30) පාර්ලිමේන්තුවේ දී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවේ දී සභාගත කළා.

මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව විසින් මෙම කමිටු වාර්තාව මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගත් බවත් තමන් මෙම කමිටු වාර්තාව අද (30) දිනයේ දී පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත්ය.

තවද මෙම කමිටු වාර්තාවෙන් අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ස්කෑන් පරික්ෂාවට ලක් කළ යුතු රතු ලේබලය යටතේ වූ බහාලුම් 151ක් අතරින් බහාලුම් 37ක් කිසිඳු ස්කෑන් පරික්ෂාවට ලක් නොකර නිදහස් කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.

මෙම රතු ලේබලය යටතේ වූ බහාලුම් නිදහස් කිරීමේ දී ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ යුතු වුවත් ස්කෑන් පරීක්ෂාවන් සිදුකරන නිලධාරීන් අදාළ බහාලුම් 37 ස්කෑන් පරික්ෂාවට ලක්කළ යුතු බව සටහනක් යොදා තිබුණත් කිසිඳු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර අදාළ බහාලුම් නිදහස් කර ඇති බව මෙම කමිටු වාර්තාවෙන් හෙළිව ඇති බවට ඔහු සඳහන් කළා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ස්කෑන් කළ යුතු බහාලුම් 103ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර නිදහස් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කරන ලද්දේ බහාලුම් නිදහස් කිරීමට තීරණය කරන ලද්දේ පසුගිය ජනවාරි 18 වැනි දින වුවත් එම තීරණය ගැනීමට පෙර දිනය වූ ජනවාරි 17 වැනි දින බහාලුම් 02ක් ද නිදහස් කර ඇති බවයි.

Tags