සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජාතිය බේරා ගැනීමට මත් උවදුර පරාජය කළ යුතු බව ජනාධිපති අවධාරණය කරයි

සමාජ ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව අරමුණු කරගෙන මත් උවදුර පරාජය කිරීම රටේ අත්‍යවශ්‍යම කාර්යය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජයේ නව වැඩපිළිවෙල “රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පැවසුවේ, මත්ද්‍රව්‍ය රට පුරා පැතිරුණු “මායාකාරී ව්‍යසනයක්” බවත්, එය පරාජය කිරීමට රජය සහ සියලු ආයතන සක්‍රීයව එක්ව සිටින බවත්ය. තරුණ පරම්පරාව මත් උවදුරේ විශාලතම ගොදුර බවත්, ගම්, නගර, පාසල් පුරා මේ විෂ මත් උවදුර පැතිරෙමින් පවතින බව ද ඔහු අවධාරණය කළේය. ඒ සමගම ජනාධිපතිවරයා එම ව්‍යසනය තුළ ඇති විශාල මූල්‍ය බලය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණයට ලක්ව ඇති බවත්, සමහර ආයතනවලින් රාජ්‍යට අයිති ගිනිඅවි සහ උණ්ඩ පාතාල කණ්ඩායම් අතට ගිය බව ද පැවසීය. “රාජ්‍ය සතු ආයුධ පාතාලයේ අතට ගියේ කොහොමද? සමහර හමුදා කඳවුරුවලින් ටී-56 ගිනිඅවි 79ක් පමණ පාතාලයේ  අතට ගොස් ඇත,” යනුවෙන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඔහු දැනුම් දුන්නේ, පොලිසිය සහ ආරක්ෂක බලකායන් විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කළද, තවමත් ඇතැම් අධිකාරීන්ගේ සහය නිසා “කළු රාජ්‍යයක්” බිහිවෙමින් ඇති බවයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල දූෂිත නිලධාරීන් පාතාල නායකයින්ට ආධාර කරන බවත්, එය රාජ්‍යය විනාශ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ අතර ජනාධිපතිවරයා පැවසුවේ, පොලිසිය මත් උවදුරට එරෙහිව දැඩි කැපවීමකින් කටයුතු කර ඇති අතර, රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් සිටී නම් වහාම ඉන් ඉවත්වන ලෙස පැවසු ජනාධිපතිවරයා කිසිවෙකුටත් සැඟවීමට හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.

ඔහු තවත් සදහන් කළේ, තරුණයින් හා පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදවීමට ක්‍රීඩා සහ සංගීත මත පදනම් වූ සංස්කෘතික වැඩසටහන් නව ප්‍රතිපත්තිවලට ඇතුළත් කරන බවත්ය. දැනටමත් ස්වෙච්ඡා පුනරුත්තාපන මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, දෙමාපියන්ට තම දරුවන් එම මධ්‍යස්ථාන වෙත ගෙන යාමට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඉදිරියේදී රේගුව, ආගමන විගමන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, හමුදාව සහ පොලීසිය එකමුතු කරගත් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවන බවත්, එමඟින් කිසිවෙකුට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පසු විදෙස් ගත වීමට හෝ සැඟවීමට ඉඩක් නොමැතිවෙන බවත් ඔහු අවධාරණය කළේය. “මේ රට උන්ට ගිය රටක් නොවෙන බව මතක තියා ගන්න,” යනුවෙන් ජනාධිපතිවරයා අවසානයේ කියා සිටියේය.

ඒ හා සමග ආගමික නායකයින් සහ මාධ්‍ය ආයතන රට මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීමේ මෙහෙයුමට එක්විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා අවසානයේ සියලු පක්ෂ, ආයතන සහ ජනතාවට ආරාධනා කළේ “මේ රටම එකට එකතු වෙලා, මේ මායාකාරී කුණාටුව විනාශ කරමු” යනුවෙන්ය.

Tags